අන්තිමයාගේ ගීතය
හැමදාමත් වැඩ වරදින
කෝටු පාර අතට වදින
“අන්තිමයා කෝ” අදදින......
දුර්වලකම හැමට පෙනෙන
කවදාවත් හොඳ නොකරන
රතු හරියක් පොතක ඇඳුන
දිනයක් ඔහු හට නොතිබුණ....
අත්පුඩි ගහමින් තුටු වන
සහතික පත් සැමට බෙදන
තැගි ගන්න පෝලිමේ එන
සිසුන් අතර නැත ඔහු යන.......
පන්තියේ නම වත් නෑසෙන
සැමදාමත් පාසල් එන
රණ්ඩු දබර ළඟ නොරැදෙන
කිසිවකු නැත ඔහුව සොයන......
කිරි අම්මට මැණිකක් වෙන
ආතා ළඟදි බුදුන් වඳින
මාපිය සෙනෙහස නොලබන
කවුරුද සෙව්වේ ඔහු ගැන......
පන්තිය අයිනට විසිවුණ
පැන්සල් කොටයක් අහුලන
හෙමිහිට අකුරක් අමුණන
ඔහු නැත කිසිවකු අඳුනන......
දුරු රට ගොස් පියා නොයෙන
පිය සෙනෙහස ඉන් නොලබන
මව ඔහු තනිකර සැඟවුණ
අන්තිමයට කාගෙ සරණ
අන්තිමයට කාගෙ සරණ.....
කෙතට ගියොත් කෙත හඳුනන
ගවයට තණ කොළ සපයන
කඩේ දුවන බඩු ගෙන එන
කඩිසරයෙකි ගෙදර සිටින......
ලි මඩුවේ බාස් වෙන්න
කෙත් යායේ ගොවියා වෙන්න
බණ මඩුවේ කවියා වෙන්න
අන්තිමයාට හැකියි වෙන්න
දුටු දුටුවන් පුතේ කියන
මුව පුරවා හිනා නඟන
පුංචි අතින් ලොව සරසණ
හෙට මිනිසෙකි රටට වටින
ගයා කුමාරි,
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
වැලිගපොල
අරුත්බර පබැදුමක්.
ReplyDelete